Tuesday, 14 April 2015

පුංචි ශ්‍රී පාදය... (The Little Adam's Peak)


එක රොත්තට, එක පෙළට...
අපි සැම දෙනාම...
මේ එක්වන වෙලාවේ...
මීන සිට මේෂටත්...
හිරු දෙවියෝ වඩින්නේ...
නැවුම් හැඟුම් පුබුදන...
මේ සිහල අලුත් අවුරුද්දේ...
120 ට 220 ක්...
ආවඩා ආයුබෝම වේවා...



සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සියලු දෙනාටම...

නිහඬව හිටියත් නිතරම ඔබට ජීවත් වන කාලය තුළ අත්දැකීමක් ලබාගන්නට පුළුවන් දේවල් ලබාදීම අරමුණින්, නැවතත් ඔබට අලුත්ම අත්දැකීමක් ලබාදෙන ස්ථානයක් පිළිබඳව ඉදිරිපත් කරනවා. අපි විවිධාකාර දේවල් කළත්, අවුරුද්දකට එක් වරක් හෝ කුමන හෝ ප්‍රදේශයක සංචාරය කරනවා. ඒක අපේ කායික මෙන්ම, මානසික ඒකාග්‍රතාවයට අතිශයින්ම වැදගත්. මගේ මතය නම් සංචාරය යනු කායික සහ මානසික ආතතිය සඳහා ඇති හොඳම බෙහෙත බවයි.

ඌව පළාත...
අපේ රටේ වගේම, විදේශීය සංචාරකයන්ගේ නෙත් සිත් ඇඳ බැඳ ගන්නා ප්‍රදේශයක් බවට අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නෑ. විශේෂයෙන්ම, මේ වසන්ත සමයේදී අපේ බොහෝ දෙනා පාසල් නිවාඩුව හා සමගාමීව නුවරඑළිය වගේම මේ ප්‍රදේශවල සංචාරය කරනවා. මේ කාලයේදී තමයි ඉතා පැහැදිලි දේශගුණයක් මේ ප්‍රදේශවල තියෙන්නේ. අන්න ඒ හේතුව මතත් බොහෝ දෙනා සංචාරය කරනවා. මේ කාලයේදී ප්‍රවාහන පහසුකම් අතින් ගත්තොත් දුම්රියට තමයි වැඩි බරක් තියෙන්නේ. මොකද, ප්‍රධාන මාර්ගය, එහෙමත් නැත්නම් උඩරට දුම්රිය මාර්ගයේ චමත්කාරය අත්විඳින්න නිතරම දුම්රියේ ගමන් නොකරන බොහෝ දෙනා උත්සාහ කරනවා.

නමුත්, අපේ මිනිසුන් බොහෝ දෙනා  ඌව පළාතේ සංචාරය කළත්, ඒ සංචාරය කරන්නේ හපුතලේ ඇඩිෂම් බංගලාව, ලිප්ටන් සීට්, දියතලාව, බණ්ඩාරවෙල ආදී ප්‍රදේශවල විතරයි. නමුත්, ඊට වඩා පහසුවෙන්ම සංචාරය කළ හැකි ස්ථාන බොහොමයක් මේ ඌව පළාත තුළ ස්ථානගතව තියෙනවා.

ඇල්ල...
ඇල්ල නගරය. මා මෙතෙක් සංචාරය කළ ස්ථානවලින් ඉතාමත්ම සාමකාමී නගරවලින් එකක් හැටියට අවිවාදයෙන්ම කියන්න පුළුවන්. ඒ තරමටම නිදහස්. නමුණුකුල කඳු පන්තියේ පිහිටලා තියෙන මේ නිස්කලංක නගරය ගොඩක්ම ප්‍රසිද්ධ විදේශිකයන් අතරේ. බොහෝ විදේශිකයින් ලංකාවේ සංචාරය කරද්දී ඔවුන්ගේ අනිවාර්යය ගමනාන්තයක් තමයි ඇල්ල නගරය. අපේ අය කතරගම බලා යන ගමනේදී සුප්‍රසිද්ධ කුඹල්වල - වැල්ලවාය (A23) මාර්ගයේ ගමන් කරනකොට ඇල්ල නගරය හරහා ගමන් කළත්, එතන ඉඳන් කිලෝමීටර් දෙකක් විතර පල්ලම් බහිනකොට රාවණා ඇල්ල හම්බවෙනවා. ඔබ සංචාරය නොකළාට ඇල්ල පිහිටා තියෙන පුංචි සිරීපාදය ගැන අහල ඇති. අද ඒ ගැන තමයි මෙහි සටහන් කරන්නේ.

බදුල්ල බලා දුම්රියෙන් යන ගමනේදී ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් හැටියට ඇල්ල දුම්රිය ස්ථානය හඳුන්වන්න පුළුවන්. බදුලු දුම්රිය ගමනාරම්භයේ සිට මහනුවර, හැටන්, නානුඔය දක්වා, හපුතලේ, බණ්ඩාරවෙල දක්වා අපේ මිනිසුන් බොහෝ දෙනා ගමන් කළත්, ඉන් ඔබ්බට ඒ කියන්නේ බදුල්ල දක්වාම ගමන්ගන්නා මගීන්ගේ ප්‍රමාණය අඩු මට්ටමක තියෙන්නේ. නමුත්, විදේශීය සංචාරකයන්ගේ ගමනාන්තයෙන්, ඇල්ල දුම්රිය ස්ථානයෙන් පස්සේ දුම්රියෙන් බදුල්ල දක්වා ගමන් මගීන් ගණන ඉතා අල්පයි. විශේෂයෙන්ම මේ ඇල්ල නගරය තුළ ඉතා පහසුවෙන්ම නැරඹිය හැකි ස්ථාන 3 ක් පිහිටලා තියෙනවා. එකක් තමයි රාවණා ඇල්ල. ඊළඟ ස්ථානය තමයි ආරුක්කු 9 පාලම (9 Arch Bridge), අනිත් ස්ථානය තමයි අපි මෙහි සටහන් කරන පුංචි ශ්‍රී පාදය (Little Adam's Peak) කියන ස්ථානය.

පුංචි ශ්‍රී පාදය...
ලෝකයේ ඇති ඉතාමත්ම දැකුම්කළු නැරඹුම් ස්ථානවලින් එකක් හැටියට කියන්න පුළුවන්. නමුණුකුල කදු පන්තියේ පිහිටලා තියෙන එතරම් උස නැති කන්දක් වුණත්, පස්සර, මොණරාගල ආදී ප්‍රදේශ ඉතා පැහැදිලිව දැකබලාගන්න පුළුවන්. හපුතලේ, දියතලාව වගේ සීතල දේශගුණයක් මේ ප්‍රදේශයේ නෑ. මොකද පල්ලම් බහින්න බහින්න සීතල අඩුවන හින්දා. විටෙක සෞම්‍ය වගේම වියළි දේශගුණයත්, රාත්‍රියට සීතල දේශගුණයත් මේ ප්‍රදේශයේ තියෙන්නේ.

ඉතාමත් පහසුවෙන් ඔබට මෙම ස්ථානයට පිවිසෙන්න පුළුවන්. ඔබ දුම්රියෙන් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ඇල්ල දුම්රිය ස්ථානයෙන් බැහැලා, ඇල්ල නගරයේ ඉඳන් බල්ලකෙටුව, නමුණුකුල හරහා පස්සර මාර්ගයේ කිලෝමීටර් 2 ක පාගමනකින් පුංචි ශ්‍රී පාදයේ ආරම්භක පිවිසුමට ළඟා වෙන්න පුළුවන්. පුද්ගලික වාහනයකින් හෝ බසයෙන් එනවානම්, ඇල්ල නගරයට ඇවිත් ඉහත සඳහන් කරපු මාර්ගයේම එන්න පුළුවන්. 

තේ වගාව ඉතාමත් හොඳින් සිදුකරන ප්‍රදේශයක්
විදෙස් සංචාරකයන්ගේ ප්‍රකට ගමනාන්ත වලින් එකක්
හරිත වර්ණයෙන් පිරිපුන් කලාපය
                      

ශ්‍රී පාදයේ හැටන් මාර්ගයේ නැග්ම හා සමානයි
දැඩි බෑවුම් හා ප්‍රපාතයන් සමඟින්
ප්‍රකට "අක්කර 98" (98 Acres) හෝටල් සමූහය මෙම ස්ථානයට ඉතා පැහැදිලිව දර්ශනය වේ.
ඔබ දන්නවා ඇති ඉරාජ්ගේ "Sweety Manika" ගීතය අරගෙන තියෙන්නෙත් මේ ප්‍රදේශයේදී. මෙන්න ඒ සිංදුවත් මේ https://youtu.be/t4rC6aAGlVk සබැඳියෙන්...

ඇල්ල සිට දෙමෝදර දක්වා ප්‍රදේශය
මොණරාගල ප්‍රදේශය
බණ්ඩාරවෙල ප්‍රදේශය
ඇල්ල - වැල්ලවාය (A23) මාර්ගය
නමුණුකුල ප්‍රදේශය
දැඩි බෑවුම් සහිත ප්‍රදේශය 
රාවණා ඇල්ල දක්වා ප්‍රදේශය පැහැදිලිව දැකගත හැකිය
ඉතා සුළු කාලයක් ඇතුළත දී ඔබට මේ ප්‍රදේශයේ ඇති සුන්දර මෙන්ම, විටෙක ත්‍රාසජනක අත්දැකීම ලබාගන්න පුළුවන්. විශේෂයෙන්ම, දෙයක් සිහිපත් කරන්න කැමතියි, මේ ප්‍රදේශයේ අධික සුළං මෙන්ම, දැඩි බෑවුම්, ප්‍රපාතයන් සහිත ඇති බැවින් Selfies ගැනීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. කාටවත් කරදරයක් නොවන විදියට අවට පරිසරයට හානියක් නොවන පරිදි සුන්දරත්වය අත්විඳින්න. ඔබ ජායාරූප ගන්නවා නම්, උදේ කාලය තුළ දී තරණය කිරීම වඩාත් සුදුසුය. 

වැඩිපුර සේයාවන් නරඹන්න...

Camera - Nokia Lumia 520

Special Thanks -  Sachindra Umesh
                              Katharina Nagel (Germany)
                              Nils John (Germany)

                 Twitter     https://twitter.com/YashmalN
                 Instagram https://instagram.com/yashmalne/

                 Mobile - 071 152 1272 & 077 185 0220

Sunday, 5 April 2015

ජාතික දුම්රිය කෞතුකාගාරය... (National Railway Museum)

"ඉතිං...
17 මසකට පසුව...
අධික රාජකාරි මැද...
පැමිණෙන්නෙමි නැවත...
ඔබ හමුවට...
නැවුම්...
හරබර...
සංග්‍රහයන් සමඟින්..."


______________________________________________________________________________

      ලාංකිකයන් වන අප හැමෝම ගමන් කරන්නට කැමති වාහනයක් තමයි දුම්රිය කියන්නේ. ලංකාවේ බොහෝ දෙනා පාහේ ජීවිතේටම එක් වරක් හෝ දුම්රියෙන් ගමන් කරල ඇති. ඒ අතරින් සමහර දෙනෙක් දුම්රියක් දැකල තිබ්බත් එක් වරක්වත් දුම්රියෙන් ගමන් කරල නැතුව ඇති. කමක් නෑ. ඔබ, අපි මේ ජීවත් වන කෙටි කාලය තුළදී එක් වරක් හෝ දුම්රියෙන් ගමන් කර අසිරිය විඳින්න කියලා ඉල්ලා සිටිමි.

       එදා 1815 දී සුද්දා අපේ රට සම්පූර්ණයෙන්ම යටත් කළාට පස්සේ අපේ රටත් බ්‍රිතාන්‍ය කිරීටයක් බවට පත්වුණා. මේ පාලන කාලයේදී අපේ රටට යහපත් වගේම අයහපත් දේවල් ද ලැබුණු බව අපි හැමෝම හොඳාකාරවම දන්නවා. මේ දේවල් වලින් දුම්රිය සේවය අපට ලැබුණු විශිෂ්ටතම දායාදයක් හැටියට අවිවාදයෙන්ම සලකන්න පුළුවන්. 

     දැන් ලංකාවේ ප්‍රධානතම අපනයන බෝගය "තේ" වුණාට, එදා ප්‍රධානතම අපනයන බෝගය වුණේ "කෝපි". ලංකාව තුළ වතු වගාව ආරම්භ වීමත් සමඟම මුල්ම කාලයේදී ඒවා කොළඹට ප්‍රවාහනය කළේ කරත්තවලින්. නමුත්, ගැල් මගින් ප්‍රවාහනයේදී අධික කාලයක් ගතවීමත් සමඟ තිබ්බ අනාරක්‍ෂිත භාවය හින්දම වතු පාලකයන් දුම්රිය මගින් ප්‍රවාහනය කටයුතු සිද්ධ කරගැනීම සඳහා එදා පාලකයන් සමඟ සාකච්ඡා කළා. මොකද ඒ කාලේදීම තමයි සුද්දගෙ රටේ දුම්රිය වාණිජ කටයුතු වශයෙන් ප්‍රවාහනය කළේ. එසේ කාලය ගෙවී අවසාන වශයෙන් මීට අවුරුදු 150 කට පමණ පෙර, ඒ කියන්නේ 1864 වර්ෂයේ දෙසැම්බර් මස 27 වන දින සුබ මොහොතින් කොළඹ කොටුවේ සිට අඹේපුස්ස දක්වා මංගල ගමන ආරම්භ කළා.

       ඒ ආරම්භයේ ප්‍රතිඵලයන් හැටියට ප්‍රධාන මාර්ගයේ බදුල්ල දක්වාත්, උතුරු මාර්ගයේ කන්කසන්තුරේ දක්වාත්, මුහුදු බඩ මාර්ගයේ මාතර දක්වාත්, මඩකලපු මාර්ගයේ මඩකලපුව දක්වාත්, ත්‍රිකුණාමල මාර්ගයේ ත්‍රිකුණාමලය දක්වාත්. තලෙයිමන්නාරම් මාර්ගයේ තලෙයිමන්නාරම දක්වාත්, පුත්තලම් මාර්ගයේ නූර්නගර් දක්වාත්, අවසාන වශයෙන් කැළණිවැලි මාර්යේ ඕපනායක සහ යටියන්තොට දක්වාත් (අද වන විට අවිස්සාවේල්ල දක්වා) දුම්රිය මාර්ගය ව්‍යාප්ත කළා. 

         ඒ කාලය අතරතුර දී වාෂ්ප දුම්රිය එන්ජිමේ සිට ඩීසල් දුම්රිය එන්ජිමේ සිට බලවේග කට්ටල (Power Sets) ආනයනය කිරීම දක්වාද, මැදිරි නිෂ්පාදනය, අමතර කොටස් නිෂ්පාදනය, මාර්ග කටයුතු, සංඥා කටයුතු, නඩත්තු, මගී හා භාණ්ඩ ප්‍රවාහනය ආදී විශාල සේවාවන් එදා සිට මේ දක්වාම සිදුවෙනවා. ඒ ගැන ඔබ හොඳාකාරවම දන්නවා. එදා භාවිතා කළ වාෂ්ප දුම්රිය එන්ජින්, ඩීසල් දුම්රිය එන්ජින්, මැදිරි ආදිය අද වන විට අභාවයට ගිහිල්ලා. සමහර වටිනා දේවල් යකඩ වලට කපලා වෙන්දේසි කරලා. ඒත්, සමහර දේවල් එදා ඉඳන් අද වෙනකල් අඛණ්ඩව භාවිතා කරනවා. නමුත්, වාසනාවට වටිනා දෑ අද වන විට සංරක්ෂණය කරලා තිබීම ගැන ගොඩක් සන්තෝසයි. ඉතිං අපිට දුම්රිය ගැන අධ්‍යයනය කරන්න හොඳ අවස්ථාවක් පසුගිය වසරේ සිට ලැබිලා තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ 150 වන සංවත්සරයට සමගාමීව දුම්රිය කෞතුකාගාරයක් පසුගිය වසරේ (2014) දෙසැම්බර් මස 27 වන දින, අපේ දුම්රිය සේවයට 150 වසරක් සපිරුණු දිනයේදී කඩුගන්නාවේ දී විවෘත කළා. මතක තියාගන්න, මේ අපේ රටේ මුල්ම දුම්රිය කෞතුකාගාරය නොවන බව. ඔබට මතක ඇති මරදාන ටෙක්නිකල් හන්දියේ ඉඳන් කොටුව පැත්තට යනකොට වම් අත පැත්තේ තිබ්බ දුම්රිය කෞතුකාගාරය. එතන තිබුණු කෞතුක භාණ්ඩ තමයි, වඩාත් ඉඩ ඇති තැනකට ගෙනිච්චේ.

          ඔබට ඉතාමත් පහසුවෙන් මෙම ස්ථානයට පිවිසෙන්න පුළුවන්. ඔබ බසයෙන් හෝ දුම්රියෙන් කුමන ප්‍රදේශයක සිට පැමිණියත්, මේ කෞතුකාගාරය තිබෙන්නේ හරියටම කඩුගන්නාව නගර මධ්‍යයේ යි. ඔබට රුපියල් 50 ක් වගේ පුංචි මුදලකට වගේම, දරුවන්ටත් රුපියල් 10 ක් වැනි සුළු මුදලකට මෙය නැරඹීමේ පහසුකම සලසා දීලා තියෙනවා. විදේශීකයන්ට නම් ප්‍රවේශ පත්‍රය රුපියල් 500 ක්.

ජාතික දුම්රිය කෞතුකාගාරයේ පිවිසුම
ප්‍රවේශ පත්‍රය
මුල් යුගයේ භාවිතා වූ අත් කරත්තයක්
කාබයිට් ලාම්පුවක්
මුල් කාලයේදී භාවිතා වූ ලියවන පට්ටලයක්
පෙට්‍රල් වලින් ධාවනය වූ මෝටර් ට්‍රොලියක්
සංඥා පුවරු
නැමිය හැකි මුහුණ සෝදන බේසම
(රාජකීය පන්තිය සඳහා පමණි)
රාජකීය පන්තිය සඳහා භාවිතා කරන ලද වැසිකිළි Commods
මුල් යුගයේ භාවිතා වූ ගිනි නිවීමේ රථයක්
එකල වාෂ්ප එන්ජින් සඳහා පාසල්වල නාම යොදා ගැනුණි
මෙරටට ගෙන් වූ වාෂ්ප එන්ජින්, ඩීසල් එන්ජින් මෙන්ම මැදිරි ද, මෙරට නිපදවන ලද එන්ජින් වල සමරු ඵලකයන් කිහිපයක් පහතින් දැක්වේ. 


ජෙනරල් මෝටර්ස් සමාගම
(M2 පන්තිය)
හන්ස්ලට් සමාගම - ලීඩ්ස්, එංගලන්තය
(P1 පන්තිය)
මෙරට දී නිපදවූ මුල්ම ඩීසල් දුම්රිය එන්ජිම
(M3 පන්තිය)
මෙරටට ගෙන්වූ මුල්ම ඩීසල් දුම්රිය එන්ජිම
(M1 පන්තිය)
පටු මාර්ගවල ධාවනය සඳහාම ගෙන්වන ලද N1 පන්තියේ දුම්රිය එන්ජින්
(කෘප් සමාගම - ජර්මනිය)
S3 පන්තියේ බලවේග කට්ටලය
(MAN සමාගම - නියුන්බර්ග්, ජර්මනිය)
S2 පන්තියේ බලවේග කට්ටලය
(ෂාන්ඩ්ලර් සමාගම - ස්විට්සර්ලන්තය)
ලංකාවට ගෙන්වන ලද මුල්ම බලවේග කට්ටල් ත්‍රිත්වය - D1, D2, D3|
(ඉංග්ලිෂ් ඉලෙක්ට්‍රික් සමාගම - ලන්ඩන්, එංගලන්තය 1938)
ප්‍රතිසංස්කරණය කරන ලද වාෂ්ප එන්ජිමක සමරු ඵලකයක්
ගැරට් එන්ජින්
(බේයර් පීකොක් සමාගම - මැන්චෙස්ටර්, එංගලන්තය 1945)
T1 රේල් කාරය ගෙන් වූ
සෙන්ටිනල් සමාගම එංගලන්තය - 1945
ජපානයේ "ටෝක්යු" සමාගම - 1962
1962 වර්ෂයේදී මහජන චීන සමූහාණ්ඩුවෙන් ගෙන්වන ලද මැදිරි
තවද, එදා සිට අද දක්වාම භාවිතා වන ඉතාමත් ආරක්‍ෂිත සංඥා ක්‍රමයක් වන "ටැබ්ලට් ක්‍රමය" සිද්ධ වන ආකාරය ද දැකගන්නට පුළුවන්.


ටැබ්ලට් යන්ත්‍රය
මෝසස් සංඥා ක්‍රමය
1930 වර්ෂයේදී භාවිතා වූ කාල ගණන යන්ත්‍රයක්
හිරු තැටිය
(ශ්‍රී ලංකාව තුළ දැකගත හැක්කේ හිරු තැටි දෙකක් පමණක් වන අතර ඉන් එක් හිරු තැටියක් කොළඹ ජාතික කෞතුකාගාරයේ ද අනෙක් හිරු තැටිය මෙම ස්ථානයේදී ද පමණක් දැකගත හැකිය) 
අත් සංඥා
දුම්රිය මාර්හ සඳහා භාවිතා කරන උපකරණ
දුම්රිය මාර්ග විවෘත කිරීම සිහිවීම පිණිස නිර්මාණය කර ඇති සමරු ඵලක ද මෙහිදී දැකගැනීමට පුළුවන්.


1902 මාර්තු මස 11 දින උතුරු දුම්රිය මාර්ගය විවෘත කිරීම
1912 අප්‍රේල් මස 18 දින රත්නපුරය දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීම
1914 පෙබරවාරි මස 24 දින මන්නාරම දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීම
1919 මැයි මස 01 දින පැල්මඩුල්ල දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීම
1924 අප්‍රේල් මස 05 දින බදුල්ල දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීම
1926 මැයි මස 12 දින පුත්තලම් මාර්ගය දීර්ඝ කිරීම
දුම්රියක් ධාවනය වන්නේ කෙසේද යන්න පිළිබඳව ආකෘතියක් මඟින් දැකබලාගත හැකිය
කෞතුකාගාරයේ පැතිකඩක්
වසර 150 ක් සපිරීම නිමිත්තෙන් නිකුත් කර ඇති සමරු කලාපය

තවද, ඔබට කෞතුකාගාරය දෙපස පිහිටා ඇති නවීකරණය කළ දුම්රිය මැදිරි තුළට ගොඩවීමෙන් දුම්රිය සේවය සම්බන්ධ වාර්තාමය කෙටි චිත්‍රපටයක් ද නරඹන්නට ද පුළුවන්.


නවීකරණය කරන ලද S7 පන්තියේ බලවේග කට්ටල හි එළවුම් මැදිරි
පාලක පැනලය
කඩුගන්නාව නගරය
වායු සමීකරණය කළ ඇතුළත
සියළු දෙනාටම එකසේ නැරඹිය හැකිය
වැඩි ඉඩකඩක්
වාර්තාමය කෙටි චිත්‍රපටය යන අතරතුර
අනෙක් මැදිරිය ආහාර ගැනීම සඳහා ඉඩ පහසුකම් සලසා ඇත
පවුල් සඳහා ගැලපේ
ඒ වගේම මෙම මැදිරි දෙකට අමතරව තවත් දුම්රිය එන්ජින් කිහිපයක් ද දැකබලා ගැනීමේ අවස්ථාව තියෙනවා.


ලංකාවට ගෙන්වන ලද මුල්ම ඩීසල් ෂන්ටින් එන්ජිම (G1-500) - 1934
(Armstrong Whiteworth - England) 
පුළුල් මාර්ගයේ ධාවනය වූ වාෂ්ප එන්ජිමක් (E1 - 93)
ඉපැරණි දොඹකාරයක්
මාර්ග පරීක්‍ෂක නිලධාරීන් සඳහා භාවිතා කළ මෙරටදී නිපදවන ලද මැදිරියක්
කැළණිවැලි පටු මාර්ගය සඳහා භාවිතා කළ ජපානයේ කවසාකි සමාගමේ නිෂ්පාදිත එන්ජිම (N2-732) - 1973
පටු මාර්ග සඳහා භාවිතා වූ එංගලන්තයේ හන්ස්ලට් සමාගමේ නිෂ්පාදිත එන්ජිම (P1-527) - 1949
මෙරටට ගෙන්වන ලද මුල්ම ඩීසල් එන්ජිම (M1 පන්තිය) - 1953
Brush Bagnall - England
මෙරට වැඩිම කාලයක් ධාවනය කළ බලවේග කට්ටලය (S3 පන්තිය) - 1959
MAN - Germany
ඔබත් දුම්රිය පිළිබඳව යම් උනන්දුවක් හෝ ඇල්මක් දක්වනවා නම් හැකි වෙලාවක නරඹන්න. ඔබට දුම්රිය පිළිබඳව බොහෝ දේවල් දැනගන්න පුළුවන් වෙවී. ඒ වගේම එය රැකගැනීමත් අපි හැමෝම සතුයි...



පෝය දින ඇරෙන්න අනිත් හැම දවසකම උදේ 9 ඉඳන් හවස 4 වෙනකන් විවෘතයි...

වැඩිපුර සේයාවන් නරඹන්න...
https://www.facebook.com/media/set/?set=a.811865855529568.1073741928.100001184831031&type=3

Camera - Microsoft Lumia 535
Special Thanks to Onal Karunaratne & Nalin Aravinda